Thursday May 23, 2013
News Feeds:
ආණ්ඩුව නිධන් හාරනකොට ජනතාව සිදුව ඇත්තේ තමාගේම මිනීවල කපාගැනීමටයි - රනිල් වික්‍රමසිංහ PDF Print E-mail
පුද්ගලයන් 4 දෙනෙකුගෙන් යුත් පවුලක් එක් දවසකට තේ වේල් දෙකක් කිරි පිටි සඳහාත් එමෙන්ම අරපිරිමැස්මෙන් ගෑස් පාවිච්චිය සඳහාත් එක් වේලක් විතරක් යන්තමට පාන් ගෙඩියක් කන්නත් අවම වශයෙන් මසකට රුපියල් 4000 ක් අවශ්‍ය වෙනබව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ අද (10)කොළඹ අබ්දුල් හමීඩ් මාවතේ පිහිටි වෙළෙඳපොලේදී වෙළෙඳ ප්‍රජාව මුණගැසෙමිනි. එහිදී එතුමා මෙසේද පවසා සිටියේය.

අනෙකුත් කෑම වේල්, ගමන් බිමන් ඇතුළු අනෙකුත් වියදම් සඳහා එක් අයෙකුට මසකට රුපියල් අවම වශයෙන් 7000 ක් 8000 අතර මුදලක් අවශ්‍ය වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ ජනතාව ජීවත් වන්නේ කෙසේ ද? මහින්ද චින්තන ආණ්ඩුව යටතේ ජනතාවගේ ආදායම් වැඩි කිරීමේ මාර්ගයක් උදා වී නැහැ. පඩි වැඩි කිරීමක් නැහැ. ධීවරයන් සඳහා සහන ලබා දෙන ලෙස ධීවරයන් කළ උද්ඝෝෂණයට වෙඩි තබා අහිංසක ධීවරයකු වූ ඇන්තනී ප්‍රනාන්දු වෙඩි තබා මරා දැමුවා.

ජනවාරි මාසයේ රුපියල් 125 ට තිබුණු පෙට්‍රල් ලීටරය මේ වන විට රුපියල් 149 කට වැඩි කර තිබෙනවා. එමෙන්ම රුපියල් 76 කට තිබූ ඩීසල් ලීටරය අද 115 දක්වා වැඩි කර තිබෙනවා. මෙවන් වාතාවරණයක් හමුවේ ත්‍රීවිල් ක්ෂේත්‍රය ගෙන යන්නේ කෙසේ ද? පොඩි වාහන හිමිකරුවන් ජීවත් වන්නේ කෙසේ ද? මීට උත්තරය වශයෙන් ආණ්ඩුව පවසන්නේ සෑම පුද්ගලයකුටම වාහනයක් නොමැති බවයි. ආණ්ඩුව රුපියල් 7 අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා වැඩි කළා. අනෙකුත් බස් ගාස්තු 20% කින් වැඩි කළා.

ජනවාරි මාසයේ රුපියල් 61 කට තිබුණු භූමි තෙල් ලීටරයක මිල අද වන විට මේ ආණ්ඩුව රුපියල් 106 දක්වා වැඩි කර තිබෙනවා. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2050 සිට රුපියල් 2400 දක්වා වැඩි කර තිබෙනවා. ප්‍රතිශතය වශයෙන් 15% ත් 20% ත් අතර වැඩි කිරීමක් සිදු කර තිබෙනවා.

විදුලි බිල පළමු ඒකක 30 සඳහා 25% කින් වැඩි කර තිබෙන සාමාන්‍ය ගේක විදුලි භාවිතය ඒකක 30 ට වඩා සිදු වෙනවා. එමෙන්ම ඒකක 31 සිට 60 දක්වා 35% කින් ද ඒකක 60 වැඩි ප්‍රමාණය 40% කින් ද වැඩි කර තිබෙනවා.

කිරි පිටි ග්‍රෑම් 400 ක මිල රුපියල් 264 සිට රුපියල් 325 දක්වා වැඩි කර තිබෙනවා. පාන් පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 90 සිට රුපියල් 98.50 දක්වා වැඩි කර තිබෙනවා. ජනවාරි මාසයේ රුපියල් 120 කට තිබුණු පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල අද රුපියල් 150 දක්වා වැඩි කර තිබෙනවා. පාන් ගෙඩියක මිල රුපියල් 55 සිට රුපියල් 58.50 දක්වා වැඩි කර තිබෙනවා. මේ නිසා අද ජනතාව ජීවත් වන්නේ බොහෝ දුෂ්කරතාවන් මැද්දේයි.

ජනතාව පවසා සිටින්නේ යන්තමින් හෝ ජීවිතය ගැට ගසා ගැනීම සඳහා මසකට රුපියල් 70000 ක් 80000 ක් අතර මුදලක් අවශ්‍ය බවයි. ආණ්ඩුවක් බඩු මිල වැඩි කරනවා නම් ජනතාවගේ ආදායම් මාර්ගය ද වැඩි කළ යුතුයි. එසේ නොමැතිව බඩු මිල පමණක් වැඩි කරද්දී ජනතාව ජීවත් වන්නේ කෙසේ ද?

ආණ්ඩුව එතැනින් නොනැවතී රුපියලේ අගය ද බාල්දු කර තිබෙනවා. 130 සිටින ප්‍රමාණය 150 දක්වා ඉහළ යාමට ඉඩ තිබෙනවා.

මෙවන් වාතාවරණයක් තුළ රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ජනතාවට සහනයක් නොමැති නිසා ජනතාවට මැරෙන්නයි සිදු වෙන්නේ. අද ජනතාවට සිදුවී තිබෙන්නේ තමන්ගේම මිණී වළ හාරන තත්ත්වයකටයි. අනෙක් පැත්තෙන් ආණ්ඩුව රටේ නිදන් වළවල් හාරනවා. සාමාන්‍යයෙන් රටේ නිදන් වස්තු සොයා ගන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි. නමුත් මේ ආණ්ඩුව එස් ටී එෆ් හමුදාව යොදවා නිදන් හාරනවා.

ආණ්ඩුව රටේ නිදන් හාරනවා පමණක් නොව ජනතාවගේ ඉතිරි කිරීම් ද සූරා කනවා. ජනතාවගේ ඉතිරි කිරීම් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙයි. ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ඊට වඩා බොරු වටිනාකමකින් 60% ත් 70% ක් අතර වටිනාකම වැඩි කර මිල දී ගැනීමට උත්සාහ කර තිබෙනවා. නමුත් දැනට භාණ්ඩාගාර ලේකම්වරයා මේ ගනුදෙනුව නතර කර තිබෙන බව වාර්තා වෙනවා.

ගනුදෙනුව නතර කිරීමෙන් වැරැද්ද නිවැරදි වෙන්නේ නෑ. මේ දූෂණය කරන්නට පියවර ගත් ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අය වහාම ඉල්ලා අස් විය යුතුයි. එමෙන්ම කොටස් වෙළෙඳපොළ භාර මණ්ඩලය ද අහෝසි කර නඩු දැමිය යුතුයි. මේ හොරකමට ඉඩ දුන්නේ කවුද? ඒ අයට දඬුවම් දිය යුතුයි. ස්වල්ප දෙනෙක් වංචා හා දූෂණය සිදු කරමින් හම්බ කර ගැනීමේ වැඩ පිළිවෙල නතර කළ යුතුයි.

අද රටේ 1% ක් තිබෙන්නේ හයිෆයි පන්තියයි. ඒ අයට පවසන්නේ සාටක පන්තිය කියායි. අනික් 99% සාමාන්‍ය පන්තියයි. ඒ අය මැද පන්තිය වෙන්න පුළුවන්, වැඩ කරන පන්තිය වෙන්න පුළුවන්, රජයේ සේවකයන් වෙන්න පුළුවන්. ජනතාව මේ තරම් දුකෙන් ජීවත් වන මොහොතේ ආණ්ඩුව ජනතාව කෙරෙහි අවධානය යෙමු කරන්නේ නෑ. ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ සාටක පංතියේ සුභ සාධනය ගැන පමණයි. ඔවුන් රකින්නේ සාටක පංතියේ අය පමණයි. ජනතාවට සහන ලබා දීම සඳහා වූ ආණ්ඩුවේ කිසිම වැඩ පිළිවෙලක් යොදා නැහැ.

යුද්ධය අවසන් වී අවුරුදු 3 ක් සපිරෙන මේ මොහොතේ ජනතාවට ලබා දුන් සහන කුමක් ද? එදා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු සමයේ යුද්ධය කරන අතරතුර ජනතාවට සහන ලබාදීමට ද පියවර ගෙන තිබුණා. නමුත් රාජපක්‍ෂ ආණ්ඩුව පවසා සිටියේ තමන්ට ඒ දේ කළ නොහැකි බවයි. යුද්ධය අවසන් වනතුරු පටි තද කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ ජනතාවට ආණ්ඩුව ලබා දුන් සහන කුමක් ද?

අද ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ගේ ගෙදර අය-වැය ගෙන යන්න පුළුවන් මාර්ගයයි. මාසය අවසානයේ දී අතට පොඩි ගාණක් ඉතිරි වන ක්‍රමයක් තිබිය යුතුයි. අපේ ගෙදර කුලිය හා විදුලි බිල ගෙවිය හැකි තත්ත්වයක් උදා විය යුතුයි.

දරුවන්ට හොඳ පාසලක් ලැබිය යුතුයි. අද ඒ දේ සිදු වන්නේ නැහැ. දරුවන්ට හොඳ අනාගතයක් තිබිය යුතුයි. අද පන්තියෙන් පන්තියට ළමයින් ඇතුළත් කර ගැනීමටත් මුදල් ලබා දීමට දෙමාපියන්ට සිදුව තිබෙනවා.  මෙවන් වාතාවරණයක් තුළ සාමාන්‍ය ජීවිතයක් ගෙන යන්නේ කෙසේද? අධිවේගී මාර්ග හදනවා. වරායවල් හදනවා, කුරුඳු හදනවා යැයි පැවසිය හැකියි. ඒ මොනවා හැදුවත් ජනතාවට ජීවත් විය හැකි තත්ත්වයක් මේ ආණ්ඩුව උදා කර නැහැ.

එම නිසා ඒකාබද්ධ විපක්‍ෂය මගින් පඩි වැඩි කර ජනතාවට සහන ලබා දී ධීවර හා ගොවි ජනතාවට සහන ලබා දෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණ රාශියක් දියත් කළා. මැයි දිනයේදී ද මේ සඳහා වූ යෝජනා සම්මත කර ගත්තා. මැයි දිනයෙන් පසු වෙසක් සමයේ නැවතත් බඩු මිල වැඩි කළා. ආණ්ඩුව ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදනවා නම් අපි සංවිධානය වී පාරට බැහැලා උද්ඝෝෂණ කර ජනතාවට සහන ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරන ව්‍යාපාර ආරම්භ කරනවා.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කරලීම සඳහා දේශපාලනයෙන් තොරව එකතු වෙන්නැයි අප ඉල්ලා සිටිනවා. ආණ්ඩුවෙන් සහන දෙන ලෙස ඉල්ලා සිටීමෙන් පළක් සිදු වන්නේ නැහැ. ආණ්ඩුව එය කරන්නේත් නැහැ. ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර සාමකාමී අපේ සත්‍යග්‍රහ ආරම්භ කර, රට පුරා සංවිධානය වී  ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි.  

ජාතික ඉතිරි කිරීම් බැංකුව මෙවන් විශාල පරිමාණයේ වංචා, දූෂණ සිදු වන අවස්ථාවේදී පුද්ගලික අංශය මෙන්ම වාණිජ මණ්ඩලය ද නිශ්ශබ්දව සිටිනවා. මේවායේ ඉන්නා බොහෝ පුද්ගලයන් ආණ්ඩුව සමග ඩීල් දමා සිටින බැවින් අසාධාරණය වෙනුවෙන් කතා කිරීමට  ඔවුන්ට පිට කොන්දක් නැහැ.

එම නිසා ජනතාවට සහන ලබා ගැනීම පමණක් නොව ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ලබා ගන්න රැඩිකල් වැඩ සටහනක් ගෙන යෑමට තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය මෙන්ම  ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන බලවේගය වන එක්සත් ජාතික පක්‍ෂය ද අද යොමු වී තිබෙන්නේ එම කාර්යයටයි. මෙම රැඩිකල් වැඩ සටහන ඉදිරියට ගෙන යා යුතුයි. එමගින් තරුණයන්ට අනාගතයක් උදා කළ යුතුයි.

එදිනෙදා ජීවත්වීමේ වාතාවරණයක් උදා කළ යුතුයි. හයිෆයි පන්ති නොමැතිව ජනතාව ජීවත් කළ හැකි වැඩ සටහන් අරන් ඉදිරියට යා යුතුයි. එම ගමන එක හඬකින් යා යුතුයි. කාටවත් මේ ගමන බාධා කිරීමටවත් ආණ්ඩුව වෙනුවෙන් කකුලෙන් අදින්නවත් මා ඉඩ තබන්නේ නැහැ.ජනතාව වෙනුවෙන් මේ යන ගමනට බාධා කිරීමට කවුරු හෝ සැරසෙනවා නම් ඒ අය ඉවත් කර ඉදිරියට යනවා.

ඒකාබද්ධ විපක්‍ෂය සමගත්, එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමගත් සාකච්ඡා කර ළඟදීම අපේ වැඩ සටහන ප්‍රකාශ කරන බව මා මේ අවස්ථාවේදී කියා සිටිනවා.



 
Copyright © 1946 - 2013. United National Party. Designed by Acelabs.org