Thursday May 23, 2013
News Feeds:
එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කල විශේෂ නිවේදනය PDF Print E-mail
Written by Administrator   
Friday, 07 September 2012 17:51
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ දීර්ඝ කාලීන සම්බන්ධතාවයකි. සමාජ ආර්ථික සංස්කෘතික හා ආගමික ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ගොඩනැංවුණු මෙම සබඳතාවන් බිඳදැමීමට හෝ පළුදු කිරීමට ගන්නා උත්සාහයන් වෙතොත් එය අප හෙළාදැකිය යුතු කරුණකි.

අද ලංකාව තුළ ජාතීන් අතර ගැටුම්කාරී පරිසරයක් නොමැත. එසේම ඉන්දියාවේ සිට හෝ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට මෙහි යන එන කිසිවකුටවත් කිසිදු අමිහිරි අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවී නොමැත. එසේම ආණ්ඩු අතර දේශපාලනමය හා ප්‍රතිපත්තිමය නොපෑහීම්කම් ගණනාවක් මතුවුවද දෙරටෙහිම සාමාන්‍ය ජනතාවගේ මිත්‍රත්වයට හා සුහදත්වයට එයින් කිසිදු බලපෑමක් මතුව නොතිබිනි.

නමුත් මෑතකදී ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසකට ට්‍රිචි නගරය ආශ්‍රිතව පහර එල්ල කිරීමේ සිද්ධියත් සමගම පෙරකී තත්ත්වය වෙනස්වී තිබේ. මෙම පහරදීම පිළිබඳව අප බලවත් ලෙස හෙළා දකිනුයේ එහෙයිනි.

මෙම වන්දනාකරුවන්ට එක්වරක් තර්ජන එල්ලවී තිබියදී නිසි ආරක්ෂාවකින් තොරව ඔවුන්ව ට්‍රිචි ගුවන්තොටුපළ වෙත ගෙනඒමේ හදිසි තීරණය ගත්තේ ඇයිදැයි යන්න පිළිබඳවත් අප මෙහිදී ප්‍රශ්න කල යුතුය.

ඔවුන්ට පහර එල්ලවූයේ ආරක්ෂා රහිතව ගුවන් තොටුපළ වෙත රැගෙන එන අතරතුරදීය. රටකට පැමිණෙන විදේශිකයන්ට අවශ්‍ය ආරක්ෂාව හා සහයෝගය ලබාදීම එම රටේ යුතුකමකි. විදේශ ගමන් බලපත්‍රයේ ඒ පිළිබඳව තැබූ විශේෂ සටහනක්ද වේ. මේ නිසා පහරදීමේ සිද්ධිය පිළිබඳව සොයාබැලීමත් එවැනි සිද්ධීන් මතු ඇති නොවනු පිණිස පියවර ගැනීමත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ වගකීමක් සේ අපි දකිමු. එවැනි ගැටළු හා අර්බුධ ඇතිවූ කල්හි ඒවා රාජ්‍ය තාන්ත්‍රික හා දූරදර්ශී ලෙස විසඳාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුවද එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ඉතාම ආසන්නයෙන් පිහිටා ඇති ඉන්දීය ප්‍රාන්තයක් වූ තමිල්නාඩුව සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ සබඳතා ඉතාමත් දුර්වලය. එසේම තමිල්නාඩු දේශපාලන නායකයින් සියල්ලක්ම කොටි සාමාජිකයින් ලෙස හඳුන්වමින් ගර්ජනා නගන ආණ්ඩුවේම ඇමතිවරුද සිටිති.

ආණ්ඩුව විවිධ මත දැරිය හැක. විවිධ ස්ථාවර ගත හැක. අද එකක් හෙට එකක් කියමින් අසල්වැසි රටවල් සමග පළුදු කරගැනීම හා මිත්‍රත්වය දෙදරවා ගැනීමටද පුළුවන. නමුත් එම නිසා දෙරටේ සහෝදර ජනතාව අතර ඇති ඓතිහාසික සබඳතාව පළුදුවීමට ඉඩ දිය නොහැක. එක් එක් පුද්ගලයින්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ සිරකරුවන් නොවී මෙම අවස්ථාවේ කල්පනාකාරී හා දූරදර්ශීව ක්‍රියාකරන මෙන් අප ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

 
Copyright © 1946 - 2013. United National Party. Designed by Acelabs.org