Thursday June 20, 2013
News Feeds:
ආණ්ඩුව ඡන්ද පදනම පහළ දමාගන්නිද්දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද පදනම ඉහළ දමාගෙන තිඛෙනවා - තිස්ස අත්තනායක PDF Print E-mail
ආණ්ඩුවේ දකුණේ සිංහල ඡන්ද පදනම ක්‍රමානුකූලව ගිලිහි යන අතර, එක්සත් ජාතික පක්‍ෂයේ එම ඡන්ද පදනම ක්‍රමානුකූලව වර්ධනය වන බව උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලවලින් මනාව තහවුරු වන්නේ යැයි පැවසූ මහලේකම්  තිස්ස අත්තනායක මහතා මේ තත්ත්වය එක්සත් ජාතික පක්‍ෂයේ අනාගතය සම්බන්ධයෙන් යහපත් සං ඥාවක් වන්නේ යැයි මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. මහලේකම්වරයා මේ බව පැවසූයේ ඊයේ (09) කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව පැවසීය. එතුමා එහිදී මෙසේද පැවසීය.

උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයේදී අපට විවිධ අයුරින් සහය පළ කළ සියලූ පාර්ශ්වයන්ට ද එම මැතිවරණයේදී දූෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලූම ජනතාවට ද මේ මොහොතේ අප අපේ ස්තූතිය පුද කරනවා. මේ පළාත් සභා මැතිවරණය නිදහස්ව සාධාරණව සහ අපක්‍ෂපාතීව පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා සහ එම දෙපාර්තමේන්තුව යම් උත්සාහයක් ගත්තත් ආණ්ඩුව ඒ වෙනුවෙන් කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නැහැ.

ආණ්ඩුව සහ මැති ඇමැතිවරුන් ද ආණ්ඩුවේ අපේක්‍ෂකයින් ද මේ පළාත් සභා මැතිවරණයේදී රාජ්‍ය දේපොළ මුදල් සහ සම්පත් පාවිච්චි කරමින් ද භීෂණය සහ මර්දනය පතුරුවා හරිමින් ද මැතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කළා. මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය මැතිවරණ සමයේ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍ර ලේඛය අමු අමුවේ උල්ලංඝණය කරමින් ඉතාම පක්‍ෂග්‍රාහීව රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කළා.

මේ පළාත් සභා මැතිවරණය පැවැති දිනයේ දී පවා විවිධ අභියෝගයන්ට අසාධාරණයන්ට සහ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදීමට එක්සත් ජාතික පක්‍ෂයට සිදු වීම හේතුවෙන් අපට විශාල පාඩුවක් සිදු වූ බව කිව යුතුයි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ඡන්ද ගණන් කෙරුණු අංක 1 ශාලාවේ මූලික ඡන්ද ගණනය කිරීම කටයුතු අදාළ බලධාරීන් සිදු කළේ අපේ දේශපාලන නියෝජිතයාට එම ශාලාවට ඇතුළුවීමට ඉඩ නොදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන නියෝජිතයා පමණක් ඇතුලේ රඳවා ගෙනයි.

නැගෙනහිර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තවත් මන්ත්‍රී ආසනයක් එක්සත් ජාතික පක්‍ෂයට ලබා ගැනීමට අඩු වූයේ ඡන්ද 500 ක් පමණක් වන අතර එම තත්ත්වයට මේ සිද්ධීය බලපෑ බව පැහැදිලිව කිව යුතුයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට අප පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ නිලධාරියා සහ පොලිසිය එම ස්ථානයෙන් වහාම බැහැර කිරීමට ඔහු ක්‍රියා කළත් අවසාන මැතිවරණ ප්‍රතිඵලයට එම ක්‍රියාවෙන් වූ බලපෑම නිවැරැදි කෙරුණේ නැහැ.

ඇත්ත වශයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ අංක 01 ශාලාවේ ඒ මොහොතේ කුමක් සිදු වූවා ද කියා මේ වනතුරු කවුරුවත් දන්නේ නැහැ. මේ අනුව පැහැදිලි වන්නේ මේ පළාත් සභා මැතිවරණයේදී ඇතැම් නිලධාරීන් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොතකා පක්‍ෂග්‍රාහීව ක්‍රියා කළ බවයි.

එමෙන්ම උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, කැකිරාව සහ කලාවැව මැතිවරණ කොට්ඨාශයන්හි අදාළ ස්ථාන භාර නිලධාරීන් අපේ ඡන්ද පොළ නියෝජිතයින්ට එම ස්ථානවලට ඇතුළුවීමට ඉඩ දී නැහැ.

මේ සිද්ධීය ද අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, උතුරු මැද පළාතේත් අවසන් ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි බලපෑම් ඇති කළා විය හැකි අතර සිය උපදෙස් සහ නියෝග නොතකා ක්‍රියා කළ අදාළ නිලධාරීන්ට එරෙහිව උපරිම විනය සහ නීතිමය පියවර ගන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අප ඉල්ලා සිටිනවා.

ආණ්ඩුව සලාක ක්‍රමයට සිය පාලනය යටතේ පූර්ණ රාජ්‍ය බලයද භීෂණය සහ මර්දනය ද යොදවා රාජ්‍ය දේපොළ, මුදල් සහ සම්පත් පාවිච්චි කරමින් මේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවත් ජනතාව යම් සං ඥාවක් ආණ්ඩුවට දී තිබෙන බව මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී පැහැදිලි වනවා.

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 221204 ක් ද එක්සත් ජාතික පක්‍ෂය 80360 ක් ද ලබා ගත්තා. එම මහ මැතිවරණයට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂය මේ පළාත් සභා මැතිවරණයේදී එම දිස්ත්‍රික්කයෙන් 126184 ක් ලබා ගනිමින් සිය ඡන්ද ප්‍රමාණය 45824 කින් වැඩි කර ගෙන තිබෙනවා. එනමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ප්‍රමාණය වැඩි වී තිබෙන්නේ 13183 කින් පමණයි.

එම මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඡන්ද 118,694 ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත්තේ ඡන්ද 45,732 ක් පමණයි.

මේ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඡන්ද 69,943 ක් ලබා ගනිමින් මහ මැතිවරණයට සාපේක්‍ෂව මේ මැතිවරණයේදී ඡන්ද 24,211 ක් වැඩි කර ගෙන තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව මහ මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රමාණය මේ මැතිවරණයේදී 104,165 දක්වා අඩු වී තිබෙනවා. එනම්, ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව එදාට සාපේක්‍ෂව 14,529 කින් අඩු වී තිබෙන බව පැහැදිලියි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආණ්ඩුව 2010 මහ මැතිවරණයේදී ලබා ගත් 305,327 ඡන්ද ප්‍රමාණය මේ මැතිවරණයේදී 156,440 දක්වා අඩු වී තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව එම මහ මැතිවරණයට සාපේක්‍ෂව මේ පළාත් සභා මැතිවරණයේදී 30,347 කින් අඩු වී ඇති බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් එදා ඡන්ද 125,076 ක් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂය මේ පළාත් සභා මැතිවරණයේදී ඡන්ද 156,440 ක් ලබා ගනිමින් සිය ඡන්ද ප්‍රමාණය 31,364 කින් වැඩි කර ගත්තා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය 2010 මහ මැතිවරණයේදී ලබා ගත් 104,925 මේ පළාත් සභා මැතිවරණයේදී 130,417 දක්වා වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ අප එදාට වඩා මේ පළාත් සභා මැතිවරණයේදී අපේ ඡන්ද ප්‍රමාණය 25,492 කින් වැඩි කර ගෙන තිබෙන බවයි.

නමුත් එම මහ මැතිවරණයේදී ආණ්ඩුව ලබා ගත් ඡන් 242,663 මේ පළාත් සභා මැතිවරණය වන විට 213,734 දක්වා අඩු වී තිබෙනවා. ඒ කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය 28,729 කින් අඩු වී තිබෙන බවයි.

මේ අනුව 2010 මහ මැතිවරණයට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂය උතුරු මැද සහ සබරගමුව පළාත්වල සිය ඡන්ද පදනම 126,891 කින් වැඩි කර ගෙන තිබෙන අතර, ආණ්ඩුව එම පළාතේ සිය ඡන්ද පදනම 60,421 කින් අඩු කර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් 2008 නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී සහ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන බලවේග සමග ඒකාබද්ධව තරග කළ නිසා මේ නැගෙනහිර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් එබඳු විග්‍රහයකට යන්න අපට හැකියාවක් නැත්තේ මේ මැතිවරණයට අප ස්වාධීනව ඉදිරිපත් වූ නිසයි.

මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව පැහැදිලි වන්නේ දකුණේ සිංහල ඡන්ද පදනම එක්සත් ජාතික පක්‍ෂය වර්ධනය කර ගනිද්දී ආණ්ඩුව සිය සිංහල ඡන්ද පදනම අඩු කර ගෙන තිබෙන බවයි. දකුණේ සිංහල ඡන්ද තවදුරටත් රවටා ලබා ගැනීමට නොහැකි බව මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් ආණ්ඩුවට සං ඥාවක් දී තිබෙන අතර, එක්සත් ජාතික පක්‍ෂයට හොඳ අනාගතයක් සහ අවස්ථාවක් පිළිබඳ සං ඥා ලබා දී තිබෙනවා.

පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල පුළුල් ලෙස විමර්ශනය කරමින් සහ විග්‍රහ කරමින් අවශ්‍ය පියවර ගැනීම සඳහාත් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් එක්සත් ජාතික පක්‍ෂය විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

නීතිඥ දයා පැල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුවට නීතිඥ ගෞරි තවරාසා, මිල්රෝයි පෙරේරා, අස්මි තාසිම් සහ සුරනිමල රාජපක්‍ෂ යන අය ද එම කමිටුවට ඇතුළත් වනවා.

ආණ්ඩුවේ දකුණේ සිංහල ඡන්ද පදනම ක්‍රමානුකඣලව ගිලිහි යන අතර, එක්සත් ජාතික පක්‍ෂයේ එම ඡන්ද පදනම ක්‍රමානුකූලව වර්ධනය වන බව උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල නැවත නැවතත් තහවුරු කර තිබෙන බව කිව යුතුයි.

එමෙන්ම දූෂණයට, භීෂණයට සහ මර්දනයට ද අවනීතියට ද ආණ්ඩුවට සියලූ ෙදාරවල් විවෘත කර දුන්නා ද යන ප්‍රශ්නය ද මෙම පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල සමග රටේ මතුව තිබෙන අතර මේ තත්ත්වය ඉතාම භයානක බව කිව යුතුයි.

නැගෙනහිර පළාත් සභාවේ බහුතර බලය කිසිදු දේශපාලන පක්‍ෂයකට හිමිව නොමැති තත්ත්වය හමුවේ කිසිවෙකුට එම සභාවේ බලය පිහිටුවීමේ හැකියාවක් ඇත්තේ නැහැ. නැගෙනහිර පළාත් සභා පාලන බලය පිහිටුවීමට යම්හෙයකින් ද්‍රවිඩ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කළොත් ඒ ගැන සලකා බැලීමට අප ක්‍රියා කරනවා.

කෙසේ නමුත් මේ පළාත් සභා පාලන බලය පිහිටුවීම සඳහා අප විපක්‍ෂයේ යම් පාර්ශ්වයකට සහය ලබා දෙන්නේ නම් එසේ ලබා දෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති ආරක්‍ෂා කර ගෙනයි.

එමෙන්ම අපේ සහය ලබා ගන්නා අදාළ කණ්ඩායම රටේ බහුමික අඛණ්ඩතාවය, සෛවරීභාවය සහ යහපාලනය වෙනුවෙන් ඇප කැප වන බවට ප්‍රති ඥා දිය යුතු අතර නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ආරක්‍ෂා කර ගැනීම සඳහා ජනතාව හමුවේ අප තැබූ ප්‍රඥප්ති ක්‍රියාත්මක කරවීමට ද එකඟ විය යුතුයි.

එහිදී අදහස් දැක්වූ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා

සත්‍ය වශයෙන්ම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත් වන්න නම් ස්වාධීන මැතිවරණ කොමිසමත්, ස්වාධීන පොලිස් කොමිසමත් අත්‍යවශ්‍යයි. මේ මැතිවරණයේදී රාජ්‍ය දේපොළ, රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවට වාසි ලෙස පාවිච්චි කළා.

කොහොම වුණත් මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පහළ මට්ටමේ ප්‍රතිසන්ධානය මෙයට හේතුවයි. 66 වන සංවත්සරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ රැඩිකල් වෙනසකට පක්‍ෂය ගෙන යන බවයි. එය පක්‍ෂයේ ඉදිරි ගමනට තවදුරටත් වාසියක් වේවි.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ති දොස්තර ජයලත් ජයවර්ධන මහතා

එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ප්‍රමාණය වැඩිවීම එකාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනයට විරුද්ධව දැල්වූ රතු එළියක්. පොදු රාජ්‍ය මණ්ඩලයේ සැසි වාරයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. එසේ නම් පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යවස්ථාව අනුව පළාත් සභාවවලට නිසි බලතල සහ වගකීම් පවරා දිය යුතුයි. ලෝකයේ අනෙකුත් රටවල නම් පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යවස්ථාව අනුව ඒ ඒ බලතල ලැබී තිබෙනවා. කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව එම බලතල ලබා දෙනවා වෙනුවට කරන්නේ එම ප්‍රඥප්තීන් උල්ලංඝණය කරමින් පළාත් සභාව සතුව තිබෙන සියලූ බලතල උදුරා ගැනීමයි.




 
Copyright © 1946 - 2013. United National Party. Designed by Acelabs.org